
“අමතක නොවන මතක” ආහාර අර්බුදයට විසඳුමක් …
(09 කොටස )
දැන් සරත්ගේ වියෝවත් සෙයිනුඩීන්ගේ සිරදඬුවමත් අවසන්ය. ඒ ගෙවුන කෙටි කාලයේදී අපේ කණ්ඩායම අත් විඳි ගැහැට අපමණය .
මේ වනවිට අපේ කණ්ඩායමේ සියල්ලන්ගේම ආර්ථික පසුබිම දුක්බිත තත්වයකට පත්ව ඇත .
දෙමව්පියන් එවු මුදල් සරත්ගේ අවමංගල්‍යයටත් , නාත්තන්ඩියට යාමට කුලී වෑන් රියක් අරන් දීමටත්, බැනර් සඳහාත් , පුවත්පත්වල මරණ දැන්වීම් පලකිරීමටත් ,සෙයිනුඩීන් වෙනුවෙනුත් වියදම් කර නැත්තටම නැති වු ගානයි.
එහි ප්‍රතිඵලය වන්නේ නැවත දෙමව්පියන් මුදල් එවන තුරු ආහාර වේල් ගනන සීමා කිරීමත් තේ පානය වැනි දේ අත් හැරීමත් මිස වෙනත් විකල්පයක් ඒ වනවිට අපට නොතිබුණි. දැන් සියල්ලෝම කණස්සල්ලට පත්ව ඇත්තේ තව දින කිහිපයකින් මතු වන දැඩි ආහාර අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ප්රශ්නාර්ථයටයි.
මෙය ලොකු ගැටලුවකි කාත් කවුරුත් උදව්වට නැති පෙදෙසක වාසය කරන අපේ සොයුරු සොයුරියන් තැන තැන රොක් වී කථා බහේය .
මේ වනවිට හාඩි මහා ශිෂ්‍ය සංගමය හොඳ ක්‍රියාකාරී මට්ටමේ පැවතුණි . වාසනාවකට මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරය හෙබවුයේ අපේ කණ්ඩායමේ සහෝදරයෙකි.
වහා ඔහු වටා එක් රොක් වු අප මෙම ගැටලුවට විසඳුමක් සොයා ගැණීමට හවුල් වෙන ලෙස සියළු දෙනාම එක හඬින් ඉල්ලා සිටියේ වෙනත් කිසිවක් කර ගැණීමට නොහැකි නිසාය .
එවකට හාඩියේ ආපන ශාලාව පවත්වා ගෙන ගියේ හාඩියේ සුභ සාධක සංගමය මගින්ය.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වු අපේ කණ්ඩායමේ සොයුරා කණ්ඩායමේ තවත් සගයින් කිහිප දෙනෙකුද කැටුව සුභ සාධක සංගමයේ නිලධාරි මඩුල්ල හමු විය .
ඔහු.,
අපේ කණ්ඩායමේ සියළු දෙනාම මේ වෙලාවේ දැඩි ආර්ථික අපහසුතාවයකට පත් වී සිටිනවා .කෑම බීම ගන්න පවා ඔවුන් අත මුදල් නෑ. තව දවසක් දෙකක් යනවිට හිඟාකන්ඩ තමයි වෙලා තියෙන්නේ .
මුදල් අපහසුතාවට හේතු ඔබතුමන්ලා දන්නවානේ යැයි දුක්මුසු ස්වරයෙන් පැවසීය .
හරි …..අපි දන්නවා. ඔබලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද .ඔවුන් ප්‍රශ්න කලාය.
අපේ ශිෂ්‍ය සංගම් සභාපති සොයුරා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ මසක දෙකක කාලයක් අපේ කණ්ඩායමේ සියළු දෙනාටම ණයට තුන් වේල කෑමට ක්‍රමයක් සුභ සාධක සංගමයේ ආපන ශාලාවෙන් සකසා දිය හැකි නම් පිං අයිති වෙන බවය.
සුභ සාධක සංගමයේ නිලධාරීන්ද මෙම ඉල්ලීමත් සමග දැඩි අපහසුතාවයකට පත් වුවද ඒ වනවිට අපේ කණ්ඩායම හාඩි ආයතනයේ….
ඉහළ කළමනාකාරිත්වය සිට පහලම සුළු සේවක මහතා දක්වාම ගොඩනගා ගෙන තිබු සුහදත්වය නිසා ඔවුන් තුල ඇති වුයේ දැඩි අනුකම්පාවකි.
ඔවුන් රැස් වී සාකච්ඡා කොට එදිනම සවස අප මුණ ගැසුණි .
ඔයාලගේ ගැටළුව මම සභාවට ඉදිරිපත් කලා. සුභසාධක සංගමයේ සභාපති පැවසුවේය .
අපේ කණ්ඩායමේ පිරිස පිළිතුර අපේක්ෂාවෙන් නොඉවසිල්ලෙන් බලා සිටිති.
දැන් අපි ඔබලාට ආහාර දෙන්න තීරණය කලොත් එහි මුදල් පියවීමේ වගකීම භාර ගන්නේ කවුද ..? ඔහුගෙන් පැනයකි ..
එහි වගකීම තමුන් ගන්නා බව ශිෂ්‍ය සංගම් සභාපති සහෝදරයා පැවසීමත් සමග සුභ සාධක සංගමය අපගේ ඉල්ලීම ඉෂ්ඨ කරදීමට සුදානම් බව පැවසීය .
විනාඩි 10ක පමණ කාලයක් එක දිගටම ඇසුනේ ප්‍රීතිය මුසු වු අත් පොලසන් නාදයකි. ඒ අපේ ඇත්තන්ගේය.,
එදා ඇති වු ආහාර ගැටලුව විසඳා ගැණීමට අපේ කණ්ඩායම දැරූ ප්රයන්තය අදටත් අමතක නොවන මතකයක් ලෙස තිබීම සුහද හමුවලදී නිතර කථා බහට ලක් වීමෙන් දැකිය හැකිය.
සහාය අපේ කණ්ඩායමේ,
අරුණ විජේවික්‍රම සොයුරා.
අනුර දිසානායක සොයුරා.
ජායාරූප මුල් අයිතිකරු සතුය.
මම.
ආර්.ඒ.පී.ඒ.රණතුංග .
ජා:තා:ඩි (කෘෂි ඉංජිනේරු )
82/85 . කණ්ඩායම
Posted By , 07 Jul 2026
