
“අමතක නොවන මතක” සෙයිනුඩීන්ට විරුද්ධ නඩු විභාගය
07 කොටස
දැන් සරත්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසන්ය. රාජකාරි සඳහා පැමිණි ඇත්තන් එකා දෙන්නා නිල රථවල නැගී පිටව යමින් සිටී.
අප කණ්ඩායමේ සොයුරන් පොලිස් ජීප් රථය වට කර ගෙන සිටින්නේ අත් අඩංගුවට ගත් අපේ සොයුරා දැන් දැන් බිමට හලාවි යන නොසන්සුන් බලාපොරොත්තුවෙනි.
අප සියල්ලන්ගේම බලාපොරොත්තු සුනු විසුනු කරමින් අපව මවිතයටත්, කම්පනයටත් පත් කරමින් අපේ සගයාත් රැගෙන පොලිස් ජීප්රථය ඉගිළ ගියේය.
මදක් අපේ කණ්ඩායමේ සහෝදරයින් ගොළු වුවන් සේය.
අපේ කණ්ඩායමේ පිරිසක් පොලිස් ජීප් රථය පිටුපසම දිව ගියේ අපේ සගයා බේරා ගැණීමට ක්‍රමයක් සොයා ගැණීමේ අටියෙනි .
ඔවුන් අම්පාර පොලිස් ස්ථානයට ගියේය .ස්ථානාධිපතිතුමා මුණගැසුණේය. ඒ වනවිටත් අපේ සගයා පොලීසියේ කුඩුවකය.
පොලිස් ස්ථානාධිපතිතුමා පැහැදිලි කලේ අපට කිසිවක් කල නොහැකි බවත් මෙය මහෙස්ත්රාත්තුමාගේ නියෝගයක් නිසා අපි හෙට ඔහුව උසාවියට ඉදිරිපත් කරන බවයි.
ඔහුට රාත්‍රී ආහාරයට කෑම පාර්සලයක් සහ වතුර බෝතලයක් ගෙනත් දුන් අපේ කණ්ඩායමේ සගයින් බලාපොරොත්තු කඩවීමෙි සොවින් නැවත හාඩියට එන්නට බස් නැවතුමට පැමිණියද ඒ වනවිටත් ඉඟිණියාගල මාර්ගයේ ධාවනය වන අවසන් බස් රථය පිටත්ව ගොසිනි.
අම්පාර – ඉඟිණියාගල මාර්ගයේ ගස් ගල්වලට ඇණ තබාගෙන අපේ සගයෝ බලා සිටින්නේ හාඩිය දෙසට යන කුමක් හෝ රථයක් එනතුරුය.
ඒ මෙම මාර්ගයේ පා ගමනින් යාම සපුරාම අවදානමක් නිසාය. මන්ද රෑ බෝ වනවිට මාර්ගයේ පාලනය වන අලි සතු වන බැවිනි .
හිටි හැටියේ කණ්ඩායමේ අයෙක් කෑ ගැසුවේ රීගල් හන්දිය දෙසින් වාහනයක ප්‍රධාන ලාම්පු එලියක් දිස් වෙන නිසාය .
සියල්ලෝම පාරට පැන්නේය. සමහරුන් වාහනය දෙසට වැඳගෙනය. වාහනය නැවැත්වීය. කොන්ඩුවටුවාන යුධහමුදා කඳවුරට යන ට්‍රක් රථයෙකි.
එය අපේ සගයින්ට හුරු පුරුදු වාහනයකි. මන්ද එකල කොන්ඩුවටුවාන යුධහමුදා කඳවුරේ සියලු නිලයන් අප සමගත් අප ඔවුන් සමගත් බැඳී තිබුනේ ඟුතීත්වයක් හා සමාන සහෝදරත්වයකි .
රාත්රියේදී එම මග බොහෝවිට යන්නේ අප දෙගොල්ලන් පමණක් වීම විශේෂත්වයකි .
අපහසුවෙන් පිටුපස දොර දිගේ බඩ ගා නැගගත් අපේ කණ්ඩායමේ සගයන් එහි සිටි සහෝදරයින් සමග තොර තෝංචියක් නැතිව කථා බහේය. ඒ පෙර දින රාත්‍රීයේ සිදු වු අවාසනාවන්ත සිද්ධිය ගැනය.
එක්වරම මහා හඬක් නගිමින් ට්‍රක් රථය නතරවිය. අපේ සගයින් ට්‍රක්රථය තුල දුවගොස් ට්‍රක් රථයේ ඉදිරි මුහුණට අයත් කැබින් කොටසයි පසුපස කොටසයි සම්බන්ධ වන ස්ථානයේ ඇති හිස් තැනින් ඉදිරිය බලා ඇත .
හාඩියට ආසන්න සුදුවැල්ල ප්‍රදේශයේ මහ මග හරස් කර ගෙන තනි අලියා අඩම්බරකාර ලීලාවෙන් සිටී . ට්‍රක්රථයේ නලා හඬට කෝප වු බවක් පෙන්නුවත් රථයට යාමට තනි අලියා ඉඩ සැලසීය.
හාඩිය ලඟින් බැස ගත් අපේ සගයින් හමුදා රථයේ සිටි ඇත්තන්ට ස්තුති කරමින් නේවාසිකාගාරය වෙත ආවේ දැඩි මානසික ආතතියකින්ය.
නේවාසිකාගාරයේ සිටි අපේ අනිත් පිරිස තොර තෝංචියක් නැතිව කරුණු විමසයි.
දැන් ඉතිං අපේ කථා නායකයාට නමක් යොදා ගනිමු. ඒ කථාව වටහා ගැණීමේ පහසුව උදෙසාය . ඔහුට අපි සෙයිනුඩීන් කියමු.
දැන් පසු දිනට පහන්ව ඇත . සෙයිනුඩීන් උසාවියට ඉදිරිපත් කරන්නේ අදය.
දැන් අප ලහි ලහියේ ඔහුට උසාවියේදී ඇප තැබීමට මුදල් එකතු කරන්නට පටන් ගතිමු .
තිබු මුදල් ටික සරත්ගේ අවමංගල්‍යය කටයුතු සඳහා එකතු කලේය. දැන් සත පනහ, රුපියල බැගින් එකතු කරන්නේ සෙයිනුඩීන්ට ඇප තැබීමට රුපියල් පනහක් සාදා ගැණීමටය. සෙයිනුඩීන් පොලීසියේ සිර මැදිරියේ සිටියදී පොලීසියේ සිටි ගුණදාස නම් වු සාජන්ට් මහත්මයෙකු හිතවත් වී ඇත .
දැන් ඔහුගේ උපදෙස් අනුව කටයුතු කිරීමට සෙයිනුඩීන්ද සැදී පැහැදී සිටී.
සාජන්ට් මහතා උපදෙස් ලබා දී තිබුනේ ඔබ උසාවියේදී වරද පිළිගන්න . එතකොට රුපියල් පනහක දඩයක් ගසා ඔබව මහේස්ත්රාත්තුමා නිදහස් කරාවි. යන්නෙන්ය.
ගුණදාස සාජන්ට් මහතාද දිගු සේවා කාලයක් තිබෙන, උසාවි කටයුතු සම්බන්ධව පලපුරුද්දක් තියෙන නිලධාරියෙකි. ඔහු පියෙකුමෙන් අපේ උදව්වට සිටීමත් සතුට දනවන කරුණකි .
අපේ පිරිස උදෑසනින්ම අම්පාර මහේස්ත්‍රාත් උසාවිය අසලට ගියේ සෙයිනුඩීන් අද උසාවියට ඉදිරිපත් කරන නිසාය .
උදේ 8.00 ට පමණ පොලිස් ජීප් රථයකින් සෙයිනුඩීන්ව අධිකරණයට රැගෙන ආවේය . ඔහු අපේ කණ්ඩායමේ අයට අත වනා ජයග්‍රාහී ලීලාවෙන් අධිකරණය තුලට පිවිසියේ අපේ ඇත්තන්ගේ සිත් තුලටද සතුටක් ගෙන දෙමින්ය.
දැන් නඩු ඇසීම මහේස්ත්රාත්තුමා ආරම්භ කර ඇත . අපේ කණ්ඩායමේ පිරිසක් අධිකරණය තුලය. තුන්වන නඩුව ලෙස සෙයිනුඩීන්ව කැඳවා විත්තිකුඩූවේ රඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කලේය.
මහේස්ත්රාත්තුමා… තමා කල වරදට.වැරදිකරුද / නිවැරැදිකරුද
සෙයිනුඩීන් , ගුණදාස සාජන්ට් මහතාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් .
වැරදිකරු ස්වාමිනි …යැයි පවසන ලදී.
ඊට ඔහු නීතිීඟු මහතෙකුගේ සහය ලබා ගත්තේද නැත .ඊට හේතුව අප කා අතත් මුදල් හිඟකම නිසාය.
ඔහුට දණ්ඩනයක් නියම නොකොට යලිත් අධිකරණයේ ඇති රිමාන්ඩ් සිර මැදිරියට දමා දොරගුළු දැමුවේය.
අපි සියල්ලෝම තුෂ්නිම්භුතව බලා සිටීම හැර වෙනත් කල හැකි කිසිවක් නැත.
අධිකරණ කටයුතු එදිනට අවසන් වීමට ආසන්නය. මේ වනවිට පැය හතරක පමණ කාලයක් ගෙවී අවසන්ය.
නඩු ඇසීමේ කාලය අවසන් වෙන්න ආසන්න වෙත්දී සෙයිනුඩීන්ව නැවත විත්තිකුඩුවට කැඳවන ලදි.
නැවතත් පෙර පරිදිම මහේස්ත්රාත්තුමා එම පැනයම සෙයිනුඩීන්ට ඉදිරිපත් කලේය.
සෙයිනුඩීන් හරි බරි ගැසී නැවතත් .
වැරදිකරු ස්වාමිනි . යැයි පැවසුවේය .
ඔබට බරපතල වැඩ රහිතව මසක කාලයක් සිර දඬුවම් නියම කරමි. යැයි පවසමින් මහේස්ත්රාත්තුමා අසුනෙන් නැගිට ගියේය.
සෙයිනුඩීන්ව වට කර ගත් බන්ධනාගාර නිලධාරීන් ඔහුව ඇදගෙන මෙන් ගෙන ගොස් බන්ධනාගාර බසයට දැමීය.
අප බන්ධනාගාර බසය ලඟට දිව යද්දී බසය පිටත්ව යාමට සූදානම්ය.
සෙයිනුඩීන්ගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැලේ ඒ අතරින් අප දෙස ආයාචනාත්මකව බලා මද සිනහවක් පෑමට සෙයිනුඩීන් අමතක කලේ නැත .
දැන් මොකද කරන්නේ . සරත් කර ගත්ත වැඩේ නිසා අපිටයි විඳවන්න වෙලා තියෙන්නේ අයෙක් උච්ච ස්වරයෙන් කෑ ගැසීය.
දැන් කෑ කෝ ගහලා වැඩක් නෑ පිරිසේ අනිත් අය ඔහු අස්වසාලීය.
සෙයිනුඩීන් අරන් ගියේ කොහේටද…අපට ඇති ප්රශ්නයකි. සියල්ලන්ම පිළිතුරු සොයමින් සිටී.
මේ අතරවාරයේ ගුණදාස සාජන්ට් මහතා ඈතින් යන දුටු අපේ කණ්ඩායමේ දෙතුන් දෙනෙක් ඔහු පසු පස දිව ගියේ මේ ගැන තොරතුරු දැන ගැණීමේ අටියෙනි .
ගුණදාස අංකල්………………..!
අපේ අයෙකුගේ ආමන්ත්‍රණය ඇසී ඔහු නැවතීය.
අංකල් සෙයිනුඩීන් ගෙන ගියේ කොහේටද.
අපේ පිරිසෙන් ඔහුට පැනයකි.
පුතේ. සෙයිනුඩීන් අපේ ජාතියේ කෙනෙක් නොවුනත් හොඳ දරුවෙක්. මම මගේ අත්දැකීම් අනුව ඔහුට උපදෙස් දුන්නා . ඒ වුනත් රාජකාරි ජීවිතයේදී මට වැරදුණ තැනත් ඒකමයි පුතේ මට හරි කණගාටුයි.
ඔහු දිගටම කියවා දිගු සුසුමක් පිට කලේය.
පුතේ, සෙයිනුඩීන් ගෙන ගියේ මඩකළපුව බන්ධනාගාරයට…
අපේ පිරිස කඩවුණු බලාපොරොත්තු සිත්හි දරා ගෙන යලි හාඩිය වෙත පියමැන්නේ දරාගත නොහැකි කණගාටුවකිනි.
සෙයිනුඩීන්ගේ සිරගත අත්දැකීම් ඊ ලඟ කොටසින් කියවමු.
අදාල තොරතුරු ලබා ගැණීමට වර්ථමානයේදී සෙයිනුඩීන් (අනුවර්ත නාමය )සම්බන්ධ කර දීමට කටයුතු කල .
අප කණ්ඩායමේ .
අනුර දිසානායක සොයුරාටත් .
එම්.ආර්.හසීම් සොයුරාටත්.
ස්තුති කරන්නට අමතක කරන්නේ නැත .
ජායාරූප මුල් අයිතිකරු සතුය.
මම.
ආර්.ඒ.පී.ඒ.රණතුංග .
ජා:තා:ඩි: (කෘෂි ඉංජිනේරු ).
82/85. ,කණ්ඩායම
Posted By , 07 Jul 2026
