
අමතක නොවන මතක
වන අලි බැලීම .
කෙටියෙන් කොටස් වශයෙන් අකුරු කරමි
(හාඩි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ආයතනය – අම්පාර)
අංක 01
ඒ 1982 වසරේ අග භාගයයි . දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තෝරා ගත් 50 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය – ශිෂ්‍යාවන් කණ්ඩායමක්.
නවකයින් ලෙස හාඩි විදුබිමට පැමිණි දවසයි.
සැමට නුහුරු හුදෙකලා බවක් දැනුනත් එකිනෙකාට කථා බස් කිරීමට පවා කුකුසක් ඇති වුයේ ජ්‍යෙෂ්ඨ සිසුන් රාක්ෂ වේසයෙන් එහා මෙහා සක්මනේ යෙදෙන නිසාය .
ලියාපදිංචියෙන් අනතුරුව නවකයින්ට නේවාසිකාගාරයේ තමන්ට හිමි ස්ථාන පෙන්වීමට ජ්‍යෙෂ්ඨ සිසුන් කණ්ඩායමක් ඉදිරිපත් විය .
එන්න , යමු මල්ලිලා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම තුළින්ම අපට දැනුනේ අප තනි වී නැති බවත් අපට හොඳ සහෝදර කණ්ඩායමක් හමු වී ඇති සිතුවිල්ලය.
ඒ නිසාම අප කණ්ඩායමේ අයෙක් අයියේ , අම්පාර නගරයට යාමට නිතර බස් තිබෙනවාදැයි විමසීය . ලැබුන පිළිතුරෙන් සියල්ලෝම තුෂ්නිම්භුත විය . බියට පත්ව බිරාන්තව බලා සිටියේය.
තොපිට කොහෙද මෙහේ අයියලා අපි ජ්‍යෙෂ්ඨ උත්තමයෝ මීට පස්සේ එහෙම ආමන්ත්‍රණය කරපල්ලා ,
අද තොපේ අඬු කඩනවා . අයෙක් ශබ්ද නගා කෑ ගැසුවේය.
නවක වද කණ්ඩායම් නායකයා යැයි ජ්‍යෙෂ්ඨ උත්තමයෙකු හඳුන්වා දෙනු ලැබුවේ ඉන් අනතුරුවයි.
ඔහු හැඩිදැඩි සිරුරකට හිමිකම් කියු මුහුණ පුරා රැවුල වවා ඇති ටිකක් කාල වර්ණ පුද්ගලයෙකි . දුටුවන්ගේ සිත් සලිත කරවන ඔහු ලී මුගුරක් අතැතිව දත් මිටි කමින්, කිසිවක් නොකියමින්,අපට ඔරවමින් ඔබ මොබ ඇවිදියි.
ඔහු දුටු පමණින් හීන් දාඩිය නොදැමු අයෙකු අප අතර නොවීය .
නවක පිළිගැනීමෙන් අනතුරුව අප සමග සුහදව කථා බස් කල ඔහු ගම්පහ පුරවරයෙන් පැමිණි මහීපාල සහෝදරයා නම් විය.
ඔහු ඉතා අහිංසක පුද්ගලයකි .කිසිදු චන්ඩාල ගති පැවතුමක් ඔහු තුල නොමැත.
ඒ තරමටම දක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨයින් ඔහුව හැඩ ගන්වා තිබුණී.
සති දෙකක කාලයක් එවන් අහිංසක පුද්ගලයකුට පුදුමාකාර ලෙස බියට පත්ව සිටීම හාඩියේ අමතක නොවන මතකයන් ලෙස අදටත් අපේ සිත්හි ඇඳී ඇත.
ගාමිණී (මියගොස් ), කිරින්ගොඩ,කොඩිසිංහ,ජයවීර ,මහීපාල ,අශෝක්ලාල්,හිටිගේ,නිහාල් ,අමුණුගම ,යකුපිටිය,ජයසුමන,ජයසිංහ ,බෝගහවත්ත,නානායක්කාර ,සිරිල්,අනිල් ඩයස්
(මියගොස්),
පියල් වලිසිංහ, චන්ද්‍රරත්න ,වෛද්‍ය නිමිල ජයසූරිය , වෛද්‍ය සංජීව බටගොඩ තව සිටියද මතකයේ ඇති ජ්‍යෙෂ්ඨයින්ගේ නාමාවලියක් සටහන් තැබුවේ ඔවුන්ට උපහාර වශයෙනි . ඔවුන් බොහෝ දෙනෙක් මේ වනවිට විශ්‍රාමිකව සිටී.
…………………………………
හාඩියේ මාස කීපයක් ගත කල අප දැන් වටපිටාව ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන ඇත . එකල හාඩි බිම රාත්‍රී 10 න් පසු වන අලි රජදහනකි .
ඒ කොන්ඩුවටුවාන රක්ෂිතයේ සිට හිඟුරාණ සීනි ආයතනයේ උක් වගා බිම් වෙත වන අලි සංක්‍රමණය වනුයේ හාඩි භුමිය හරහා වීම නිසාය .
එකල හාඩි බිමේ තැනින් තැන අඹ ගස් සමූහයක් තිබුණි. විනෝදයට අලි බැලීම විනෝදාංශයක් කර ගත් පිරිසක් අප අතර විය.
දිනක් ඔවුන් පිරිස අලි මංකඩේ පිහිටි අඹ ගසකට නැග වන අලි එනතුරු මග බලා සිටියහ.
මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම වන අලි රැල එකා දෙන්නා එන්නට පටන් ගත්තේය.
වන අලි රැළද ගමන් ගත්තේ මෙම අඹ ගස යටින්ය.
ටික වේලාවකින් අලි රැළ එතනින් මාරු වී අවසන් විය.
අලි නැරඹු එකා දෙන්නා ගසෙන් බසිමින් සිටින අතරතුර වන අලි රැලේ තනි අලියා මේ ස්ථානයෙන් යාමට පැමිණමෙන් සිටින බව දැක ඔවුන් නැවතත් ගසට නැග ගත්තේ මර බියෙන්ය. මන්ද ඒ වනවිටත් තනි අලියා ප්‍රදේශයේ ජීවිත ගනනාවක් බිලි ගෙන තිබු බැවිනි .
මෙසේ පැමිණි තනි අලියා අනපේක්ෂිත ලෙස මෙම අඹ ගස යට නතර විය. සියල්ලෝම බියට පත්ව සිටී.
ඒ අලියා ඉව අල්ලමින් එතැනින් ඉවත් නොවී සිටීම නිසාය .
අපේ මිතුරන් අඹ ගස මුදුනේ නිසා අලියාට ඉව නොදැනේ ඒ ඔවුන් උඩු සුලඟට හසුවන නිසාය.
අලියා සෑහෙන වේලාවක් රැඳී සිටින අතර බියට පත්ව සිටි අපේ මිත්රයෙකුට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී ඔහු කාටත් හොරා ගසේ සිට මූත්‍රා කර ඇත.ඔහු මුත්‍රා කර ඇත්තේ අලියාගේ හිසටය. ඉන් කුලප්පු වු අලියා අවට ගස් වල අතු කඩා දමමින් , පොලොව බිඳිමින් කෝපාකාරීව පහන් වනතුරු හැසීරී ඇත.
අලි බලන්නට ගිය අපේ මිතුරන්ද රැය පහන් කලේ අඹ ගසේය.
පුදුමයට කරුණ නම් මෙම අඹ ගස බද්ධ කල ඉහල උසක් ඇති ගසක් නොවීමය.
හාඩි පියාණන් ඔවුන් ආරක්ෂා කරන්නට ඇතැයි දැනටත් මා විශ්වාස කරමි.එයද අමතක නොවන මතකයන් අතර තවමත් රැඳී ඇත .
………………………………….
බොහෝ හාඩි මිතුරු – මිතුරියන් මාගෙන් කල ඉල්ලීම මත මෙවන් මතකයන් සමුහයක් කොටස් වශයෙන් තව දින කීපයකින් ඔබට කියවීමට සලස්වමි.
(එදා – මෙදාතුර හාඩි සහෝදර -සහෝදරියන්ගේ රසාස්වාදයට පත් වේවා.)
මම.
ආර්.ඒ.පී.ඒ.රණතුංග
ජා:තා:ඩී:(කෘෂි ඉංජිනේරු )
82/85 කණ්ඩායම
Posted By , 28 Jun 2026
