
“අමතක නොවන මතක” රටම කැලඹු හාඩියේ ආන්දෝලාත්මක පුවතින් පසු ..?
(5 කොටස)
……………………………..
සැබවින්ම මේ 4 කොටසේ ඉතිරියයි. හතර කොටස කියවු බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් ඉතිරි වන්නට ඇත.
සරත් කුමාර සොයුරා මිය ගිය බව දැන් හොඳින්ම දන්නවා ඊට පස්සේ සිදු වුයේ කුමක්ද යන්න එම ලිපියේ සටහන්ව නොමැත . මෙම කොටසෙන් සරත් කුමාර සොයුරාගේ අභාවයෙන් පසු ජ්‍යෙෂ්ඨ සිසුන් මුහුණ පෑ දුෂ්කරතාවයන් සහ ඊට අදාල වෙනත් කරුණු පෙල ගස්වමි.
සරත්ගේ මරණ පරීක්ෂණයද අවසන් විය.
හාඩියේ ජීවත් වු කාලයේ අපගේ අත මිට සරු නැත . කාගේ හෝ නිවසකින් money oder එකක් එනතුරා ඇඟිලි ගනිමින් බලා සිටී. money oder එකක් අදාල පුද්ගලයාට කලින් ලියුම් පෙට්ටියෙන් වෙනෙකකු එය ගතහොත් මුළු නේවාසිකාගාරයේ සැමට එය ප්‍රවෘත්තියක් වන්නේය.
ඇති දා නැති නෑදෑයොත් එක්වන්නා සේ මුදල් ඇණවුම ලැබු තැනැත්තා වටා බොහෝ පිරිසක් එකතු වේ.
අදාල පුද්ගලයාට කලින් එක් වු පිරිස මෙම මුදල් ඇණවුමෙන් ලැබෙන මුදලින් කල යුතු දෑ තීරණය කරයි .
එවන් පරිසර තත්වයක දිවි ගෙවන අප සරත් කුමාරගේ අවසන් කටයුතු අපගේ වියදමින් කිරීමට අපේ කණ්ඩායම ගත් ප්‍රබල තීරණයකි.
දැන් ඉතිං මුදල් එකතු කරමු. එසේ කීවාට අපේ උදවියගේ මුදල් පසුම්බි තුල ඇත්තේ ලිපිනයන් ලිියු කොළ කැබිලි, බස් ටිකට්,ලොතරැයි පත් වැනි දේය.
හදිසි අවශ්ථාවක ප්‍රයෝජනයට ගැණීමට යම් මුදලක් හැමෝම සඟවා ගෙන ඇත . දැන් ඉතිං ඒ මුදල් එකතු කරමුයි යෝජනා විය.
කව්රු කව්රුත් තමන් ලඟ ඇති ඒ මුදල් පරිත්‍යාග කලේ හෙට ගැන නොසිතාය.දැන් සාක්කු හිස්ය. ප්ලෙන්ටියක්වත් බොන්න මුදලක් අතේ නොමැත.
එකතු වු මුදල දේහයේ කටයුතු කර ගැණීමට මල් ශාලාවට ගෙවිය යුතු මුදලට ප්‍රමාණවත්ය.
දැන් අපට මතු වු ගැටලුවක් ඇත. අපේ කණ්ඩායමේ සියළු දෙනාම කණ්ඩායම් ගැසී තොර තෝංචියක් නැතිව කථා බහේය. සමහරුන් හිසට අත තබා ගෙන බලා ගත් වනම බලා සිටින්නේ ගොළුවන් සේය.
මෙම අවාසනාවන්ත සිද්ධිය නවක වදය අපගේ වචනයෙන් නම් නවක ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම නිසා සිදුවුවක් නොව එය ඉදිරියේදී දරා ගැණීමේ ශක්තියක් නොමැති වේ යැයි බියෙන් පලා යෑම නිසා සිදු වු සිද්ධියක් ලෙස අපට වැටහේ. නුවර බසය යාමට පෙර නගරයට ගොස් අමතක වු දෑ ලබා ගතයුතු යැයි පැවසීම ඔහු විසින් ගෙතු කතාවක් බව අප සිතන්නෙමු.
එනමුත් මාධ්‍ය හරහා ප්‍රචාරය වුයේ නවක වදය හේතු කොට ගෙන මෙම සිදුවීම සිදු වී ඇති බවයි.
ඉන් උරණ වු නාත්තන්ඩිය ප්‍රදේශවාසීන් පිරිසක් අපට පහර දීමට පැමිනෙන බවට ලොකු රාවයක් පැතිර ගියේය.
අතේ තිබු සියළු සේසතම පරිත්‍යාග කර නොකල වැරැද්දකට දඬුවම් විදීමට සිදුවන බව සැලවීම අපේ කණ්ඩායමේ සාමාජිකයන් අතර කනස්සල්ලට හේතු වී තිබු කරුණ විය.
කෙසේ වුවත් ඊට මුහුණ දිය යුතුය . අවසන කතිකා කර ගත්තේ පැමිනෙන ඇත්තෝ සත්‍ය වටහා නොගන්නේ නම් ඕනෑම දේකට මුහුණ දීමට සුදානම්ව සිටිමු යන්නයි .
මේ බව දැනගත් අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රෙක්ස් ඩී ලීමා මහතා (මියගොස් ,එතුමන් සමාදානයේ සැතපේවා ) අප සොයා පැමිණ අපගේ ආරක්ෂාවටත්, ගැටුමක් ඇති වන්නේ නම් එය වැලක්වීමටත් කටයුතු කරන බව පවසමින් තම දරුවන් රැක ගන්නා පියෙකු ලෙස අප අතරම දැවෙටෙමින් සිටීම නිසා අපේ ආරක්ෂාවේ විශ්වාසවන්තභාවය
දැඩි ලෙස තහවුරු විය.
උදෑසන 9 පමණ වනවිට නාත්තන්ඩියේ සිට පැමිණි පිරිස හාඩි ආයතනයේ පිවිසුම්
දොරටුවෙන් ඇතුල් වෙනවා අප දුටුවේය.
සියල්ලෝම දැඩි කම්පනයකින් යුතුව බලා සිටියේ දැන් කුමකින් කුමක් වේද යන්න ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්ය .
වාහනයෙන් බැස ගත් සරත්ගේ මව් පිය දෙපොලත් සමග සීයාද සිටී.
ඒ සමගම කෝපයෙන් සිටි සරත්ගේ පියා This is a result of the hardy rag යනුවෙන් කෑ මොර දුන්නේය .
එවක සිටි විද්‍යාලාධිපති මේජර් එස් .ඩී. ලංකාදේව මහතාත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රෙක්ස් ඩී ලීමා මහතාත් ඔහු වෙත ගොස් කරුණු පැහැදිලි කර දුන්නත් ඔහුට සරත් මිය ගිය ස්ථානය බැලීමට යාමට අවශ්‍ය විය.
සරත් අලියාට ගොදුරු වු ස්ථානයට සරත්ගේ පියා කැඳවා ගෙන ගියේ ලංකාදේව මහතාත් ලීමා මහතාගේත් මැදිහත්වීමෙන්ය .
මෙහිදී හදකම්පා කරවන තවත් සිදුවීමක් සිදු විය. සරත්ගේ පියා අවට සියල්ල සෝදිසි කලේ රහස් පරීක්ෂකයෙකු මෙනි.
අනතුරුව ගල් තලාව දෙසට නෙත් යොමා ගෙන පරික්ෂා කල ඔහු යමක් අතට ගත්තේය.
මගේ සැකය දුරු වුණා . මට සියල්ල අවබෝධ වෙනවා යනුවෙන් ඉංග්‍රීසි බසින් ලීමා මහතාට පැවසුවේය .
ඔබට ඇති වු සැකය කුමක්දැයි ලීමා මහතා පෙරලා ඔහුගෙන් විමසීය .
මට මගේ පුතා මියගියේ අලියා විසින්ම පහර දීමකින්ද නැතහොත් වෙනත් ක්‍රියාවක් නිසාද යන්න සැක හැර ගැණීමට අවශ්‍ය වුණා . ස්ථානීය පරීක්ෂාවෙන් මම එය තහවුරු කර ගත්තා.
ඔහු හාඩියට පැමිණි මොහොතේ තිබු කෝපාවිෂ්ඨ ගතිය සමනයකට පත්ව තිබු අයුරු අපට දැක ගන්නට ලැබුණා. එසේ වුවත් ඔහුගේ දෙනෙත් කඳුලින් බරව ඇත. දකුණු අතේ ගුලි කරගත් යමක් ඇත. ලීමා මහතාගේ උකුසු ඇසටද මෙය හසුව ඇත. එනිසාම ඔහු ඒ ගැන සරත්ගේ පියාගෙන් විමසීය .
ඔහු ගුලි කර ගත් අත දිගහැර පෙන්නුවේය. අපට දරා ගත නොහැකි කම්පාවකින් අපගේ සිරුරු පිලිස්සුනාක් මෙන් දැනුනි. ඔහුගේ අත මත සරත්ගේ හිසකෙස් සහිත හිස් කබලේ කුඩා කොටසකි.
සරත්ගේ දේහය තබා තිබුනේ ශ්‍රවණාගාරයේය. දේහයට ගෞරව කිරීම පිණිස දේහය බහාලූ පෙට්ටිය හතර කොන සිට නිසොල්මෙනේ බිම බලාගත් අප කණ්ඩායමේ සොයුරන් හතර දෙනෙකු සිටී .
දේහය ලඟට ගිය සරත්ගේ මව්පියන්ගේ විලාපය අපේ දෙනෙත් කඳුලින් තෙත් කලේය.
අනතුරුව සරත්ගේ පියාට අපව ඇමතීමට අවශ්‍ය වුයෙන් ඉංජිනේරු අංශ ගොඩනැගිල්ලේ පඩි පෙල අවසන් වු තැන වේදිකාවක් කර දුන් අප ඔහුට අපව ඇමතීමට ඉඩකඩ සලස්වා දුන්නේය.
අපට ලැබුණු තොරතුරු පුස්සක් කරමින් ඔහු කථාව ආරම්භ කලේ අදටත් මතකයේ රැව් පිලිරැව් දෙන මේ වදන් වලිනි.
මා දයාබර හාඩි දු – පුතුණී, මගේ ආදරණීය පුතුගේ වියෝවේදී ඔබලා මේ දක්වන්නා වු සෙනෙහෙබර සහයෝගයට මා හදවතින්ම ස්තුති කරමි.
පුතේ, දුවේ මගේ පුතත් ඔබලාගේ වයසේම යෞවනයෙක්, ඔහුට තිබිය යුතු වන්නේ ඔබලාට ඇති බලාපොරොත්තු ,සිතුම් පැතුම් ,ගති ගුණ, සහ යමක් දරා ගැණීමේ ශක්තියයි.
මට සමාවන්න, දුවේ පුතේ මට බැරි වුණා මගේ පුතා ඒ තත්වයට ගෙන එන්න ඒකට හේතුවක් තිබුණා. මෙයා අක්කලා රංචුවක් මැද්දේ හැදුනේ වැඩුනේ පොඩි මල්ලියෙකුත් ඉන්නවා . ඒ නිසාම මගේ පුතා හුරතලයට හැදුනු ලාමක සිතක් ඇත්තෙක් .
හාඩියට එන්න ඕන කිව්වාම මම ඒකට විරැද්ධ වුණා මොකද දුර ඈතක ගිහිල්ලා මෙයාට තනිවම තීන්දු තීරණ ගන්න හැකියාවක් නෑ කියලා මට දැනුන නිසා.
ඒ නිසාම එයා කලේ මොකක්ද….?
මම විරුද්ධ නිසා සීයාව පංගරාර්තු කර ගෙන සීයාව ඉදිරියට දා ගෙන මේ අවසන් ගමන ආවා.
සීයා අතින් ලොකු වැරැද්දක් සිදු වුවා සේ සීයා බිම බලාගත් වනම හිඳී.
දුවේ පුතේ මේ සිද්ධිය ඔබලා විසින් මගේ පුතාට තාඩන පීඩන කරලා සිදු වු දෙයක් නොවන බව මට මෙහි ආවම අවබෝධ වුණා .
මගෙත් ඔය වගේ සුන්දර අතීතයක් තියෙනවා විශ්ව විද්‍යාලයේදී .
ඒ වුනත් දුවේ පුතේ මේ ක්‍රියාකාරකම් කරන්න ප්‍රථම තමන්ගෙන් ඉටුවිය යුතු කරුණු කාරනා ගැන සැලකිලිමත් වුණා නම් තමයි වඩා හොඳ .ඔබ සැමට ස්තුතියි කියමින් ඒ ආදරණීය තාත්තා කථාව අවසන් කරන විට රැස්ව සිටි බොහෝ දෙනෙක්ගේ දෙනෙත් වලින් කඳුළු කැට කඩා වැටෙමින් තිබු අයුරු කිසිදා අමතක නොවේ.
ඒ නිසාම සිද්ධියට වසර 38 ක් ගත වුවත් වියපත් වු අපගේ සිත් වල එදවස අද වගේම මතකයේ රැඳී ඇත්තේය.
දැන් දහවලද පසු වී ඇත . සරත්ගේ දේහය නාත්තන්ඩිය කරා ගෙන යාමට සියල්ල සුදානම් කර ඇත. ඒ සඳහා අම්පාර සමගි මල් ශාලාවේ අවමංගල්‍යය රථයද සුදානම්න් පැමිණ ඇත.
මේ අවශ්ථාවේ අපේ කණ්ඩායම විශාල ගැටලුවකට මුහුණ දුන්නේය. සරත්ගේ දේහය රැගෙන යන අවමංගල්‍යය රථය සමග යාමට හාඩි ආයතනයේ බස් රථයද සුදානම් කලේය .
නමුත් බස් රථයේ යන්නේ කවුරුන්ද….? යන්න ගැටලුවකි.
ලීමා මහතාගේ අදහස වුයේ අපේ කණ්ඩායමේ කිසිවෙකු එහි නොයා සිටීම නුවණට හුරු බවය.
ඒ වනවිටත් පුහුණුව සඳහා පිටත්ව නොගිය ජ්‍යෙෂ්ඨ සහෝදරයින් දෙදෙනෙකු නේවාසිකාගාරයේ රැඳී සිටියේ ඒ ඔවුන්ට අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් සකසා ගැණීමට තිබු නිසාවෙනි .
මහත් වාසනාවකි එහි සිටි ජ්‍යෙෂ්ඨ සහෝදරයින් දෙදෙනාගෙන් එක් අයෙකු මියගිය සරත්ගේ ගම ආසන්නයේය.
ඔහු නමින් නිහාල් හෙට්ටිආරච්චි ය.
අප ඔහුට ඇවිටිලි කලේ කෙසේ හෝ අප වෙනුවෙන් මේ ගමන ගොස් එන ලෙසයි. ප්‍රදේශයේ තත්වය හොඳින්ම දන්නා නිහාල් සහෝදරයා මුලදී ගමන යාමට අදි මදි කලද පසුව ඔහු අප වෙනුවෙන් එහි යාමට කැමැත්ත ප්‍රකාශ කිරීම අප ලද භාග්‍යයකි .
සවස 2.00ට පමණ සරත්ගේ දේහය රැගත් අවමංගල්‍යය රථය සමග ආයතනයේ බස් රථය නිහාල් සහෝදරයා ඇතුළු කණ්ඩායමක් සමග අම්පාරෙන් පිටත්විය .
දේහය රැගෙන එන බවට ලැබුණු ආරංචියට විශාල පිරිසක් එම නිවසට රැස් වී සිට ඇත .
දේහය රැගෙන යන අතරතුරත් මාධ්‍ය හරහා ප්‍රචාරය වු විස්තර අපට හිතකර නොවන අයුරින් ප්‍රචාරය විය.
කෙසේ වුවද රාත්‍රී 9 ට ආසන්න වෙද්දි නාත්තන්ඩියේ සරත්ගේ නිවසට ඔහුගේ දේහය රැගෙන ගිය බව නිහාල් සොයුරා අප සමග පැවසීය .
අවට රැස්ව සිටි පිරිස අතරේ සිටි තරුණයන් පිරිසක් කෝපාවිෂ්ඨව සිටින බව ඔවුන්ගේ කථා බහෙන් දැනුන බවත් ටික වේලාවකින් ඔවුන් ගැටුමකට සුදානම් වන බවක් පෙනුන නිසා නිහාල් සොයුරා ඒ බව තමන් සමග ගිය කණ්ඩායමේ සෙස්සන්ටද පවසා ඇත.
හාඩි ආයතනයේ රැකියාව කරන මැදි වයසේ එම කණ්ඩායම ධනාත්මකව, උරණ නොවී කරුණු පැහැදිලි කර දීමෙන් ඔවුන් පිරිසත් , ඔවුන් ගමන් ගත් අළුතින්ම ආයතනයට ලැබුණු සුඛෝපභෝගී බස් රථයත් ආරක්ෂා කර ගෙන නිරුපද්‍රිතව යලි අම්පාර හාඩි ආයතනයට පැමිණිම කාගෙත් සතුටට කරුණක් විය .
ඒ වනවිටත් අපේ කණ්ඩායමේ අය සිද්ධිය මෙනෙහි කරමින් පශ්චාත්තාප වෙන අයුරු කාටත් දකින්නට ලැබුණු සංවේදී දසුනකි .
…………………………………………………
(සරත්ගේ මරණ පරීක්ෂණය සමග බැඳුණු කථා ඊ ලඟ කොටසින්…….)
මෙම ලිපිය සැකසීමේදී මා දිරිමත් කර විස්තර ලබා දෙමින් කටයුතු කල .
අපේ ජ්‍යෙෂ්ඨ සොයුරු .
නිහාල් හෙට්ටිආරච්චි සොයුරාටත්.
අප කණ්ඩායමේ .
අනුර දිසානායක සොයුරාටත්.
ස්තුති කරන්නට අමතක නොකරමි.
(ජායාරූප මුල් අයිතිකරු සතුය…..)
මම.
ආර්.ඒ.පී.ඒ රණතුංග
Posted By , 07 Jul 2026
